කැමරා කාචය පිරිසිදු කිරීම. Lens Cleaning.


කැමරා කාචය පිරිසිදු කිරීම. Lens Cleaning. - Read Photos

31 May 2019

කැමරා කාචය පිරිසිදු කිරීම. Lens Cleaning.

කැමරාවක කාචය යනු එහි ඇති වටිනා ම දෙයයි. කාචය අපේ ඇස වැනි ය. තමන්ගේ කැමරාවේ කාචය මත කුණු හෝ දුහුවිලි හෝ ඇඟිලි සළකුණු හෝ දිලීර බැඳී (ෆන්ගස්) ඇත්තෙක් කිසිසේත් ම ඡායාරූප ක්ෂේත්‍රයට වැද්ද නොගත යුතු තරමේ පහත් එකෙකි. එනිසා කාචය ඉතා පිරිසිදු ව තිබීම අත්‍යවශ්‍ය ම වෙයි.
කාචය මත කුණු හෝ දුහුවිලි හෝ ඇඟිලි සළකුණු හෝ ඇති විට ඉන් ලැබෙන ප්‍රතිබිම්බ මත අනවශ්‍ය දිදුලීම් (Flare ෆ්ලෙයාර්) ඉමේජයේ දාර වටා සුදු පැහැ දාර ඇතිවීම්, තීක්ෂණ බව අඩු වීම් (ෂාප්නස්) විරුද්ධාලෝකයක් ඇති විට එළිකන වැටීම (Glare ග්ලෙයාර්) සහ දේවතා එළි ඇතිවීම් මෙන් ම මිහිදුම් ගතියක් ද ඇති වීම සිදු වෙයි. ඉන් ඡායාරූපයේ වටිනාකම අතිශයින් හීන වෙයි.
කාචය ආරක්ෂා කිරීම සඳහා අප හැම විට ම එහි මුහුණත් මත කාචාරක්ෂකයක් පළඳවන්නේනම් ඉතා යහපත් ය. ඒ සඳහා හොඳ ම විකල්පය වන්නේ පාරජම්බුල කිරණ හෙවත් යූවී UV Filter පෙරණයකි. එවිට වැරදීමකින් හෝ සිදු වන ඇඟිලි වැදීම්, කුණු බැඳීම් මගින් කාචය ආරක්ෂා වෙයි. නමුත් දැන් වෙළෙඳපොළේ ඇති මේ යූවී ෆිල්ටර් නිසා හොඳ ඡායාරූපයක් මත වුව අනවශ්‍ය දිලීසීම් ඇති විය හැක්කේ ඒවා ඉතා බාල, අපිරිසිදු වීදුරු තහඩු මගින් ලාභ ලෙස සාදා ඇති නිසා ය. මෙවන් පෙරණයක් සවි කර ඇත්නම් ඡායාරූප ගන්නා අවස්ථාවේ එය ගලවා පැත්තකින් තබා ඡායාරූප ගැනීම වඩා හොඳ ය.
යම් වැරදීමකින් හෝ කාචය මත ඇඟිලි සළකුනු ඇතිවීම සියල්ලට ම වඩා නරක ප්‍රතිපල ඇති කරයි. ඇඟිලි සළකුණු ලෙස කාචය මත ඇති වන පැල්ලම්වල දහඩිය සමග නිකුත් වන යූරියා, ලුණු සහ තෙල් තිබේ. මේවා වියලී මැකී යන්නේ නැත. ඒවා මත තව තවත් දුහුවිලී ඇලෙන අතර වැරදි ලෙස පිස දැමූ විට එය මුලු කාචය පුරා ම පැතිරී ආලේප වෙයි.
ඔබ ඡායාරූප ගන්නට සූදානම් වූ විට පළමුවෙන් ම ආලෝකයක් ඇති දෙසයට අල්ලා කාචය මුහුණත පිරික්සන්න. එහි සියුම් දුහුවිලි ඇත්නම් ඡායාරූප ගන්නට පෙර එය පිස දමන්න.
♦ මේ සඳහා වඩා ම සුදුසු කාච පිසදැමීම සඳහා ම විශේෂයෙන් සාදා ඇති ලෙන්ස් ටිෂූ භාවිතා කිරීම ය. මේ ටිෂූ අම්ල රහිත Acid Free සහ කෙඳි නොගැලවෙන Non Woven ලෙස ඉතා තුනීවට, සුමට ව සාදා තිබේ. ඒවා ඕනෑ ම කැමරා ආම්පන්න වෙළෙඳ සැලකින් මිලට ගත හැකි ය.
☻කිසිදු විටෙක ලේන්සු, ටයි පටි, ඇඳ සිටින කමීස කෙළවර හෝ රෙදි කැබලි ආදියෙන් කාචය පිසදැමීම සියතින් ගෙල කපා ගන්නවා වැනි බරපතල වැරැද්දකි. ☻ පේපර් සවියට් හෝ ටොයිලට් පේපර් ද මේ සඳහා කිසිසේත් සුදුසු නැත. නමුත් කිසිවක් ම නැති අවස්ථාවක, ඉතා සිනිඳු ටොයිලට් පේපර් කැබැල්ලක් පාවිච්චි කිරීම සමාව දිය හැකි වරදකි. ටොයිලට් පේපර් සිනිඳු වුව ද එහි සියුම් දුහුවිලි තිබිය හැකි අතර, කෙඳි ගැලවී කාචය මත තැන්පත් වන්නට පුලුවන.
ලෙන්ස් පිසදැමීම සඳහා ලැබෙන රෙදි කැබලි ද, මයික්‍රෝ ෆයිබර් රෙදි ද, ලෙදර් ක්ලෝත් ද දෙතුන් වරකට වඩා පාවිච්ච කිරීම නුසුදුසු ය. මන්ද අතේ ඇති දහඩිය රෙදි කැබැල්ල මත තැවරී, ඒවා නැවත කාචය මත ආලේප වන නිසා ය. එක්කෝ ඒවා විටින් විට හොඳින් සෝදා ළඟ තබා ගත යුතු ය. එමෙන් ම නොමිලේ ලැබෙන රබර් මූඩියක් ඇති පෑන වැනි උපකරණයෙන් කාචය පිස දැමීම දැන දැන ම පිහියෙන් අනිනවා වැනි අපරාධයකි. 
01. කාචය පිස දමන්නට අවශ්‍යනම් මුලින් ම ඔබ කළ යුත්තේ කාචයේ මුහුණත බිමට හරවා ඊට වැරෙන් කටින් සුළං පහරක් පිඹීම ය. එවිට කාචය මත ඇති දුහුවිලි බිමට වැටෙයි. මේ සඳහා බ්ලෝවර් බ්‍රෂ් එකක් වුව භාවිතා කළ හැකි නමුදු කිසි ම විටෙක එම බ්‍රෂ් එකේ කෙඳි අතින් නොඇල්ලීමට වග බලා ගත යුතු ය. 
02. දැන් ලෙන්ස් ටිෂූ එකක් ගෙන එහි කෙළවරක ඇඟිල්ල තබා, බිමට හැරවූ කාචය මත රවුමට සෙමින් පිස දමන්න. ඉතා තදින් පිස දැමීම ද නොකළ යුතු ය.
03. ඉන්පසු ඇඟිල්ල තැබූ තැනින් එය වෙනස් කොට, වෙනත් තැනක ඇඟිල්ල තබා යළිත් රවුමට පිස දමන්න. එක ම තැනින් පිස දැමූ විට, කඩදාසියේ තැවරුණු සියුම් දුහුවිලි මගින් කාචය සීරෙන්නට ඉඩ ඇති වෙයි.
04. දැන් නැවත කාච මුහුණත ආලෝකයක් දෙසට අල්ලා බලන්න. ඔබට පිරිසිදු බව විශ්වාසනම් දැන් ඡායාරූප ගන්නට පටන් ගත හැකි ය. නැතිනම් කාචය නැවතත් බිම පැත්තට සිටින සේ අල්ලා, කට හොඳට ඇර, හහ් ගා ඒ මත හුමාල පහරක් විඳින්න. ඒ හුමාලය වියැලෙන්නට පෙර, යළිත් ටිෂූ එකේ තවත් තැනෙකට ඇඟිල්ල තබා යළිත් වටයක් පිස දමන්න.
05. ඇඟිලි සළකුණු ඇත්නම් මේ පිස දැමීම තවත් වඩා පරෙස්සමෙන් කළ යුතු වෙයි. මන්ද ඇඟිළි සළකුණ මුළු කාචය මත ම පැතිරී ඔබට එය රවුම් රවුම් දිලිසෙන ලෙස පෙනෙන නිසා ය. මේ සඳහා කාච පිරිසිදු කරන්නට ලැබෙන දාවණය (ලික්විඩ්) එක පාවිච්චි කළ යුතු වෙයි. ක්ලීනිං ලික්විඩ් එක නැතිනම් ඊට හොඳ ම විකල්ය වන්නේ අවර්ණ මධ්‍යසාර (ජින්, වොඩ්කා, වයිට් රම් වැනි) හෝ ඕඩිකොලෝන් ය. නමුත් ඇල්කොහොල් වර්ග නැවත නැවත පාවිච්චි කිරීම එතරම් හොඳ නැත. වඩාත් ම සුදුසු වන්නේ ක්ෂාරීය දියරයකි. ඉතා තුනී ෂැම්පු දියර හොඳ වුවද එය උත්සාහ නොකිරීම වඩා හොඳ ය..සර්ජිකල් ස්ප්‍රිට් හෙවත් අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් ඉතා සැර වැඩි ය. 
කිසිදු විටෙක මේ කිසිදු දියරයක් කාචය මත වත් කිරීම කිසිසේත් ම නොකළ යුතු ය.
☻තදින් පිස දැමීම නිසා හෝ කඩදාසිය ගොරෝසු වීම නිසා හෝ කාච ආලේපනය සීරී ඉවත් වෙන්නට පුලුවන. ඒ නිසා ඒ ගැන ඉතා සැළකිලිමත් විය යුතු යි.
♦වඩා හොඳ ම දේ වන්නේ කාච මත ඇඟිළි සළකුණු නොවදින ලෙස භාවිතා කිරීමයි.
☻ එමෙන් ම මුහුදු වෙරල අසබඩ ඡායාරූප ගනිද්දී ලුණු වාෂ්පය කාචය මත බැඳේ. එවිට ද කාච දියරයකින් එය වහා ම පිස දැමිය යුතු ම වෙයි.

06. ඇඟිලි සළකුණු පිස දමන්නට පෙර ද මුල් ආකාරයට ම කාච මුහුණත් බිමට හරවා තදින් පිඹ, ටිෂූ එකෙන් පිස දැමීම කළ යුතු ය. ඊට පසු වෙනත් ටිෂූ එකක් ගෙන ඒ මත දියරය හෝ මධ්‍යසාරය බිංදුවක් දමා, එය කඩදාසිය මත පැතිරෙන තෙක් ටික වේලාවක් සිටිය යුතු ය. ඉන් පසු නැවතත් කාච මුහුණත පහළට හරවාගෙන ම තෙත් කළ ටිෂූ එකෙන් වට දෙකක් පිස දමන්න. යළිත් ඇඟිල්ල වෙනත් තැනෙක තබා යළිත් වට දෙකක් පිස දමන්න.

මතක තබා ගන්න. වරක් පාවිච්චි කළ ටිෂූ කිසිවක් යළි පාවිච්චි කරන්නට ළඟ තබා නොගෙන වහා ම ඒවා වීසි කර දැමීම කළ යුතු ය...!


උපුටා ගැනීම.
ඉන්ද්‍රනාථ තේනුවරගේ ෆේස්බුක් ගිණුමෙන්